(UPDATE)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් කැඳවූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම්දීම සිදුකළා.
මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මේ වන විට සම්මත කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇති බවයි.
ඊට අදාළව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් ඔහු දැනුම් දී සිටියා.
එම පනතට ඉකුත් රජය සමයේද සංශෝධන ගෙන ඒමට පියවර ගෙන තිබුණද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම එම කටයුතු අඩාළ වූ බවත් සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න සහ ජනාධිපති නීතීඥ විරාන් කොරයා යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පනත සම්මත කරගත් ආකාරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කළ බවයි.
කෙසේවෙතත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර නීතිඥවයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ අදාළ පනතට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින හෙයින් එහි ඉදිරි ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බවයි.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම ජුනි මස 23 වනදා දක්වා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
පෙත්සම්කරවන් කියා සිටින්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් විවිධ පාර්ශව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කළ බවයි.
එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම් ඊට සිදු කළ යුතු සංශෝධන ගණනාවක් රජය වෙත යෝජනා කර තිබූ බවත් පෙත්සම්කරුවන් පවසනවා.
එහෙත් එම පනත සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ නිර්දේශ ගණනාවක්ම ඊට ඇතුළත් කිරීමට එවක රජය කටයුතු නොකළ බව චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ අනුව අදාළ පනත නිසියාකාරව නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවත් ප්‍රකාශ කළා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.