Friday, March 29, 2024

General line - 0115112241

යුක්රේන ජනපති හා ඉන්දීය අගමැති අතර හමුවක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි අතර හමුවක් සිදුවුණා.

ඒ, ජපානයේ හිරෝෂිමා නගරයේදීයි.

ජපානයේ සභාපතිත්වයෙන් යුතුව පැවැත්වෙන මෙවර ජී7 සමුළුව හිරෝෂිමා නගරයේදී පැවැත්වෙනවා.

ඒ සඳහා සහභාගී වීමට ජපානයෙන් ලද විශේෂ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපානයට ගොස් සිටිනවා.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ද මෙවර ජී7 සමුළුවට සහභාගී වන අතර ඒ ජපානයේ විශේෂ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව නායකයින් දෙපළගේ හමුව සිදුවුණේ ද මෙම ජී7 සමුළුවට සමගාමීවයි. 

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවී සාකච්ඡා සිදුකළ පළමු අවස්ථාව මෙයයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ යුක්රේන යුද්ධය සමස්ථ ලෝකයටම ගැටළුවක් බවයි.

රුසියානු යුක්රේන ගැටුම් විසඳිය හැක්කේ සාකච්ඡා මාර්ගයකින් පමණක් බවත්, ඕනැම සාම ප්‍රයත්නයකට සහය ලබාදීමට ඉන්දියාව සූදානම් බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.