Saturday, May 11, 2024

General line - 0115112241

අවුරුදු 40 ක පරීක්ෂණයකින් මස් කෑමෙන් වැළකීමේ වටිනාකම ගැන විශේෂ අනාවරණයක්




ආහාර වේලට මස් රහිත ශාක පදනම් වූ ආහාර වැඩි වශයෙන් එක්කර ගැනීම හෘද සෞඛ්‍යයට යහපත් බව දශක හතරක් තිස්සේ කරන ලද පරීක්සණයකින් අනාවරණවී තිබෙනවා. 

ඩෙන්මාර්කයේ පර්යේෂකයන් පෙන්වා දුන්නේ නිර්මාංශ ආහාර මගින් හෘදයාබාධ වැඩි කරන රුධිරයේ කොලෙස්ටරෝල් සහ මේද මට්ටම අඩු කරන බවයි. 

එහි බලපෑම, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමට දෛනිකව ගනු ලබන ඖෂධ වලින් තුනෙන් එකකට සමාන බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.

මෙම පර්යේෂණය 1982 සිට අත්හදා බැලීම් 30 ක් සමඟ සිදුකර ඇත්තේ ලොව පුරා පුද්ගලයින් 2,400 කට ආසන්න පිරිසක් එක්කර ගනිමින්. 

එහිදී ඔවුන්ට නිර්මාංශ ආහාර වේලක් දිගින් දිගටම ලබාදී හෘද සෞඛ්‍යයට එහි බලපෑම නිරීක්ෂණය කර තිබෙනවා. 

එහිදී හෙළිවී ඇත්තේ හෘදයාබාධ වැඩි කරන රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් සියයට 10 කින් මෙහිදී අඩු කරන බවයි. 

එමෙන්ම සම්පූර්ණ කොලෙස්ටරෝල් සියයට 7 කින් අඩු කරන බවත්, අහිතකර කොලෙස්ටරෝල් වල ප්‍රධාන ප්‍රෝටීනය සියයට 14 කින් කපා දමන බවත් එම පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

රුධිරයේ මෙම වෙනස සිදු වන්නේ කෙසේදැයි සොයාගැනීමට වසර ගණනාවක් මිනිසුන්ගේ ආහාර පාලනය කිරීම පිළිබඳ අධයයනයක් අවශ්‍ය වී තිබුණා. නවතම දත්ත පිළිබඳ හෙලිකරන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ වසර 15 ක් එවැනි ආහාර වේලක් පවත්වාගැනීමෙන් හෘද රෝග අවදානම සියයට 20 කින් අඩු කළ හැකි බවයි.

අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම රුධිර නාලවල මේද තැන්පත් වීමට හේතු වන අතර එය අවසානයේ හෘදයාබාධ හෝ ආඝාත ඇති කරනු ලබනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි හෘද රෝග හේතුවෙන් සෑම වසරකම මිලියන 18 කට ආසන්න පිරිසක් මියයනවා. 

වැඩි වශයෙන් ශාක පදනම් වූ ආහාර වේලක් ලබා ගැනීමේ  සෞඛ්‍ය ප්‍රතිලාභ තිබියදීත්, පරීක්ෂකයින් අනතුරු අඟවන්නේ ඕනෑම කෙනෙකුට හෘද රෝග ඇතිවීමේ අවදානමක් ද ඇති බවයි.