Thursday, April 25, 2024

General line - 0115112241

තුර්කිය යළිත් අර්ඩගොන්ට




දීර්ඝතම කාලයක් තුර්කිය පාලනයට වරම් හිමිකර ගත් ජනාධිපතිවරයා ලෙස එරට වත්මන් ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් ඉතිහාසගත වුණා.

ඒ, ඊයේ පැවැති එරට ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමෙන් ජය හිමි කර ගැනීමත් සමගයි.

ඒ අනුව 2028 වසර දක්වා තුර්කියේ පාලන බලය අර්ඩගොන්ට හිමි වනවා.

තුර්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම පැවැත්වුණේ ඉකුත් 14 වනදායි.

එහි වැඩි වාසි අත්කර ගැනීමට ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් සමත් වුවත් බහුතරය සඳහා ප්‍රමාණවත් ඡන්ද ප්‍රතිශතයක් ඔහු සතු වූයේ නැහැ. 

එබැවින් තීරණාත්මක දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට තුර්කි මැතිවරණ බලධාරීන්ට සිදු වුණා.

ඒ අනුව ඊයේ පැවැති දෙවන වටයේ ඡන්ද විමසිම හමුවේ සියයට 52.16 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට අර්ඩගොන් සමත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අර්ඩගොන්ගේ ජය සමරමින් ඔහුගේ ආධාරකරුවන් අන්කාරා අගනුවර ඇතුළු නගර රැසක වීථිවලට රැස්වී ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටින බවයි.

සිය ජයග්‍රහණය රටේම ජයග්‍රහණය බවත්, මෙම අවස්ථාවේ ජාතික සමගිය වැදගත් බවත් මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ජනතාව අමතමින් රිසෙප් තායිප් අර්ඩගොන් ප්‍රකාශ කළා. 

තුර්කියේ මෙන්ම කලාපීය වශයෙන් අර්ඩගොන් සිය බලය තහවුරු කරගෙන සිටිය ද මේවනවිට තුර්කිය මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ ඔහුගේ පාලන බලය අභියෝගයට ලක්වුණා.

ඊට බොහෝ සෙයින් බලපෑවේ ඉකුත් පෙබරවාරි මාසයේදී තුර්කියට බලපෑ දරුණු භූ කම්පනයයි.

එමෙන්ම ෆින්ලන්තයට හා ස්විඩනයට නේටෝ වරම් ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පෑම හමුවේ ද රිසෙප් තායිප් අර්ඩගොන්ගේ පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා.