Monday, April 29, 2024

General line - 0115112241

මැතිවරණයක් අභියස පකිස්තානය ඉම්රාන් ඛාන්ව සිරගත කරයි




පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අද වසර තුනක සිරදඬුවමක් නියම කළා. ඒ, පකිස්තානයේ දිස්ත්‍රික් අධිකරණයක් මගින්. ඒ අනුව ලාහෝරයේ සමාන් උද්‍යානයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අධිකරණය මගින් හිටපු අග්‍රාමාත්‍යවරයාට දේශපාලනයේ නියැලීම ද තහනම් කර තිබෙනවා. ඒ, එළඹෙන වසර 05 ක කාලයකට බලපැවැත්වෙන පරිදියි. අධිකරණ නියෝගයට අනුව එම කාලය තුළ ඉම්රාන් ඛාන් දේශපාලනයේ නිරත වීමට නුසුදුස්සෙකු වනු ඇති.


ඉම්රාන් ඛාන්ට මෙලෙස සිරදඬුවම් නියම වූයේ ඔහුට එරෙහිව එල්ල වන දූෂණ චෝදනා සඳහායි. එය ටොෂකානා දූෂණ නඩුව ලෙස හැඳින්වෙනවා. ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ විදේශීය රාජ්‍ය නායකයින්ගෙන් ලද ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.


ඔහු වරදකරු වී ඇත්තේ එම චෝදනාවලට අදාලවයි. කෙසේවෙතත් ඉම්රාන් ඛාන්ට මෙලෙස සිර දඬුවම් නියම කර වසර 05 ක දේශපාලන කටයුතුවල නිරතවීම ද වළක්වමින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දින නියම කර ඇති පසුබිමක් තුළයි. එළඹෙන 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් නිවේදනය කළේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 90 ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතු වනවා. ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ ඉම්රාන් ඛාන්ට මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වනු ඇති බවයි