Saturday, July 27, 2024

General line - 0115112241

ණය ප්‍රශස්ථකරණය නතර වුනොත් සතියකින් රට ඉවරයි - ජනපතිගෙන් අනතුරු ඇගවීමක්




ණය ප්‍රශස්තකරණ වැඩසටහන නතර වුවහොත් සතියක් ඇතුළත බැංකු ඇතුළු සියලුම අංශ කඩාවැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තවමත් අවසන් නොමැති බවත් එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට විවිධ පිරිස් උත්සාහ දරමින් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ණය ප්‍රශස්තකරණය ක්‍රියාවලියෙන් පසුව ආර්ථිකයේ ඉදිරි සැලසුම් සකස් කළ හැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමින්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍යයි.

ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය තිබිය යුතුයි. එබැවින් ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක්  සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර ඇත්තේ. 

ඉංජිනේරු, විද්‍යා ඇතුළු අංශවල වැඩි පිරිසක් සීඝ්‍රයෙන් රට හැර යාම හේතුවෙන් විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන්ගේ හිඟයක් මෙන්ම රෝහල්වලට ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති තත්ත්වයක් ද පවතිනවා.

ඊට විසඳුමක් ලෙස පෞද්ගලික අංශය හෝ වෙනත් නියෝජිත ආයතන සමඟ හෝ ඒකාබද්ධව අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.