Wednesday, May 8, 2024

General line - 0115112241

හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හරී




ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයෙන් රැගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින පිරිස අතරින් තවත් දෙදෙනෙකු මුදා හැර තිබෙනවා.

එලෙස මුදා හැර ඇත්තේ ඊශ්‍රායල ජාතික මැදි වියේ කාන්තාවන් දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඔවුන් ආරක්ෂිතව ඊජිප්තුවේ ගාසා දේශ සීමාවට පැමිණ ඇතැයි සඳහන්.

කෙසේවෙතත් අදාළ කාන්තාවන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයින් දෙදෙනා තවදුරටත් හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයෙහි රඳවාගෙන සිටින බවද වාර්තා වනවා.

ඉකුත් සතියේදිද හමාස් සටන් කාමීන් විසින් ප්‍රාණ ඇපයෙහි රඳවා සිටි කාන්තාවන් දෙදෙනෙකු මුදා හරිනු ලැබුවා.

මේ අතර, ඇතැම් මාධ්‍ය පවසන්නේ හමාස් සංවිධානය සිය භාරයේ සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු පමණ මුදා හැරීමේ සූදානමක් පවතින බවයි.

සිය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් එලෙස නිදහස් කෙරෙණු ඇති බවද වාර්තා වුණා.

ඉකුත් 07 වනදා ඊශ්‍රායලයේ ගාසා දේශ සිමාව ආසන්න ප්‍රදේශයකට පහර දුන් හමාස් සංවිධානය විදේශිකයින්ද ඇතුළු පිරිසක් ගාසා තිරය වෙත රැගෙන ගියා.

ඊශ්‍රායලය පවසන්නේ එලෙස ප්‍රාණ ඇපය සඳහා රැගෙන ගොස් ඇති පිරිස 210නෙකු පමණ වන බවයි.

ඒ අතර, දරුවන්ද සිටින බවටයි වාර්තා වන්නේ. 

මේ අතර, ඊශ්‍රායලයේ අනතුරු ඇගවිම් හමුවේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිට දකුනු ප්‍රදේශයට පලා ගිය ඇතැම් පලස්තීනුවන් යළිත් උතුරු ප්‍රදේශයේ පිහිටි සිය වාසස්ථාන වෙත පැමිණෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. 

දකුණු ප්‍රදේශයේ පවතින දරුණු තත්ත්වය හමුවේ ඔවුන් එලෙස සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශය තුළ ජනතාවට ආරක්ෂිත වාසස්ථාන හෝ ආහාර මෙන්ම ජලය සොයා ගැනිමද අර්බුදයක් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ගොඩබිම් ආක්‍රමණයක් සඳහා මේවනවිට සිය හමුදාව පුහුණු අභ්‍යාසවල නිරත වෙමින් සිටින බවයි. 

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය පලස්තිනුවන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති අතර ඉන් 2,000කට ආසන්න පිරිසක් දරුවන් බවයි වාර්තා වන්නේ.