Wednesday, October 23, 2024

General line - 0115112241

“ගෝලීය දකුණේ හඬ” සමුළුව ජනාධිපති රනිල් අමතයි




ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමින්. 

දෙවැනි වරට පැවැත්වූ මෙම සමුළුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදි ආරම්භ වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නායකයින් රැසක් ඊට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් කළ ආරාධනයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සංවිධානය කරමින් ඉන්දියාව සිදු කරන කාර්යභාරය ද අගය කර තිබෙනවා. 

පළමු වරට පැවැත්වූ ගෝලීය දකුණේ හඬ සමුළුවේ වැදගත්කම පිළිබිඹු කරමින් ජනාධිපතිවරයා ඉන්දියාවේ නායකත්වය සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ප්‍රමුඛතා කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා එමඟින් ඇති වූ ධනාත්මක බලපෑම අගය කළා.

ඉන්දියාවේ සභාපතිත්වය යටතේ පැවති ජී 20 සමුළුවේ සාර්ථකත්වය සිහිපත් කළ  ජනාධිපතිවරයා පැවසුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ ප්‍රධාන ප්‍රමුඛතා සහ විවිධ ගැටළු හඳුනාගැනීමට එමගින් හැකි වූ බවයි. 

පසුගිය වසරේ පැවති පළමු සමුළුවේදී, ආර්ථික ගැටළු, එනම් ණය පියවීමේ දුෂ්කරතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සඳහා පවතින සීමිත ප්‍රවේශය වැනි ගෝලීය දකුණ විසින් මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව තමා දැක්වූ අදහස් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිහිපත් කර තිබෙනවා.

මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ජී20 රටවල් අතර පාලමක් ලෙස ඉන්දියාව ක්‍රියාකිරීම සහ බහුපාර්ශ්වික ආයතනවලින් හා සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවලින් මේ සඳහා බාහිර ආධාර අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබුණා.