චීනය විසින් නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් මෙම වසරේ ජර්මනියේ පැවැත්වීමට නියමිත යුරෝපීය පාපන්දු ශූරතාවලියේ නිල ප්‍රවාහන පහසුකම් සපයන්නා බවට නම් කර තිබෙනවා.
BYD නම් චීන ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදක සමාගම නිල ප්‍රවාහන පහසුකම් සපයන්නා ලෙස පත්වන්නේ ජර්මනියේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදක සමාගමක් අභිබවා යමින්ය.
චීනය ක්‍රමයෙන් යුරෝපීය වෙළෙඳ පොළේ විදුලි මෝටර් රථ අංශය තුළ ජනප්‍රිය වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
2023 වසරේ යුරෝපා වෙළඳපොළ තුළ චීන විදුලි මෝටර් රථ විකුණුම් ප්‍රතිශතය 23% කින් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊට හේතුව වී ඇත්තේ යුරෝපා රටවල නිෂ්පාදනය කෙරෙන විදුලි මෝටර් රථ වලට සාපේක්ෂව චීනයේ නිපදවන විදුලි මෝටර් රථවල මිල සීයයට 20 කින් අඩුවීමයි.
කෙසේ වෙතත්, විදේශ සබඳතා සඳහා වූ යුරෝපීය කවුන්සිලයේ ආසියා වැඩසටහනේ අධ්‍යක්ෂ ජන්කා ඕර්ටෙල් විසින් චීනයේ විදුලි මෝටර් රථ හා සම්බන්ධ බරපතල ආරක්ෂක ගැටලුවක් පෙන්වා දී ඇතැයි සඳහන්.
ඔහු පෙන්වා දෙන්නේ මෙම විදුලි මෝටර් රථ හරහා යුරෝපීයන් ගේ තොරතුරු, දත්ත ආදිය චීනයට ලබා ගත හැකි බවයි.
මෝටර් රථයේ පරිගණක පද්ධතිය යාවත්කාලින කිරීමට චීන සමාගම මෝටර් රථය සමග සම්බන්ධ වෙන බැවින් මෙම දත්ත පහසුවෙන් චීන රජයට ලබා ගත හැකි බව ඔහු පෙන්වා දී තිබෙනවා.
මේ හේතුවෙන් චීන විදුලි මෝටර් රථ සඳහා යුරෝපා සංගමයේ වෙලඳපොළ තහනම් කළ යුතු බවට වන මතයක් මේ වන විට ගොඩනැගමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.