Friday, October 18, 2024

General line - 0115112241

දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පති ලෙස අද වැඩ භාර ගනී




ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් අද එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, පොලිස් මූලස්ථානයේදීයි. ඉකුත් දෙසැම්බර් 30වනදා සිට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ඊයේ දිනයේ පත් කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරවයි. 2020 වර්ෂයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් වූ දේශබන්දු තෙන්නකෝන් වසර 04කට ආසන්න කාලයක් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.  

1971 වසරේ මාර්තු මස 07වනදා උපත ලද දේශබන්දු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

ඔහු 1996 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර ඇති අතර ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත්තේ 2014 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන්.

අනතුරුව 1998 වසරේ පෙබරවාරි 23 වනදා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ දේශබන්දු තෙන්නකෝන් 2006 වසරේදී පොලිස් අධිකාරී ධූරයටද, 2011   වසරේදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ධූරයටද පත් වුණා.

2016 වසරේදී නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් වීමක් ලැබූ දේශබන්දු තෙන්නකෝන් 2020 වර්ෂයේදී ජ්‍යේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලබා තිබෙනවා. 

පොලිස් සේවයේ වසර 26ක සේවා අත්දැකීම් සහිත දේශබන්දු තෙන්නකොන් ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රාදේශිය කොට්ඨාශ රැසකද කොට්ඨාශ භාර නිලධාරියෙකු ලෙස රාජකාරී කර තිබෙනවා.