Thursday, May 2, 2024

General line - 0115112241

මාර්තුවේ ICC ක්‍රීඩකයාට හිමි තැන කමිඳු මෙන්ඩිස්ට




2024 මාර්තු මාසයේ අයි සී සී ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද තීරණය කළා.

ඒ, ඉකුත් මාර්තු මාසයේ පැවති ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙනයි.

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 108ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 164ක් රැස් කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 92ක්.

එමෙන්ම එම තරඟයේ බංග්ලාදේශ දෙවන ඉනිමේදී කඩුලු 03ක් දවා ගැනීමටද ඔහු සමත් වුණා.    

අයි සී සී මාර්තු මාසයේ ක්‍රීඩකයා ලෙස මීට පෙර නාම යෝජනා 03ක් ඉදිරිපත්ව තිබූ අතර කමිඳුට අමතරව එම නාම යෝජනා අතර සිටි අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ අයර්ලන්ත ක්‍රීඩක මාර්ක් ඇඩයර් සහ මැටි හෙන්රියි. 

කමිඳු මෙන්ඩිස් අයි සී සී ය විසින් මාසිකව නම් කරන ලද දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ 03වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයායි.

මීට පෙර ප්‍රභාත් ජයසූරිය සහ වනිඳු හසරංග එම සම්මානය හිමි කරගෙන තිබෙනවා.