Wednesday, October 23, 2024

General line - 0115112241

ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස ඉල්ලීමක්




ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම් අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඔන්ලයින් කැසිනෝ නියාමනය සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බවයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉකුත් දා රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳ සාකච්ඡාවට ගෙන තිබෙනවා.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අයවිය යුතු හිඟ බදු අයකර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනමින් කටයුතු යොදන ලෙසට සහ එය තවදුරටත් පමා නොකරන ලෙසද කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.