Friday, October 25, 2024

General line - 0115112241

 අමෙරිකාවෙන් ඉතිහාසගත වැරැද්දක් - පකිස්තානයටත් ඉඩක් වෙන් කර ඉන්දියාව සුපර් 8 වටයට




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

ඒ, සත්කාරක අමෙරිකාව කඩුලු 07කින් පරාජය කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අමෙරිකාවට නියමිත පන්දුවාර 20දී කඩුලු 08ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 110ක් පමණයි.

ඉන්දියාව එම ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී 19 වන පන්දු වාරයේදී පසුකර ගියා.

කෙසේවෙතත් ඉන්දියාවට පහසුවෙන් එම ඉලක්කය පසුකර යාමට අමෙරිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පළමු පන්දුවෙන් විරාත් කෝලි ලකුණු බින්දුවකට දවා ගත් අමෙරිකානුවන් රෝහිත් ශර්මා ලකුණු 03කටත් රිෂාබ් පාන්ට් ලකුණු 18කටත් දවා ගනිමින් ඉන්දියාවට දැඩි පීඩනයක් ලබා දුන්නා.

පසුව ලකුණු 59ක්ව තිබියදී සූර්යකුමාර් යාදව් ලබා දුන් උඩ පන්දුවක් ගිලිහී යාමත් සමග තරඟයේ වාසිය ඉන්දියාව අතරට පෙරළුණා.

තරඟය ජය ගැනීමට පන්දු 30ක් තුළ ලකුණු 35ක් ලබා ගත යුතුව තිබියදී අමෙරිකාවේ බලාපොරොත්තු සුන් කරමින් ස්ටොප් ක්ලොක් නීතිය අමෙරිකාවට එරෙහිව ක්‍රියාත්මක වුණා.

එහිදී දඬුවම් ලකුණු 05ක් ඉන්දියාවට හිමි වූ අතර ඒ අනුව අවසන් පන්දු 30දී ඉන්දියාවට ලබා ගත යුතු වූයේ ලකුණු 30ක් පමණයි.

මෙම ස්ටොප් ක්ලොක් නීතිය ක්‍රිකට් පිටියට හඳුන්වා දෙන්නේ ඉකුත් දෙසැම්බර් මාසයේදීයි.

එම නීතිය වන්නේ කිසියම් කණ්ඩායමක් එක් පන්දු වාරයක් නිම කර අලුත් පන්දුවාරය තත්පර 60ක් ඇතුළත ආරම්භ කළ යුතු වීමයි.

මෙම නීතිය අවස්ථා දෙකකදී කඩ කළ හැකි නමුත් එහිදී අනතුරු ඇඟවීම් සිදු කරනවා.

තුන් වන වරටත් මෙම නීතිය කඩකළහොත් දඬුවම් ලකුණු 05ක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දීම සිදු වනවා.

ඒ අනුවයි අමෙරිකාවට ඊයේ මෙම දඬුවමට මුහුණ දීමට සිදු වූයේ.

මෙම නීතිය අනුව ක්‍රිකට් පිටියේ දඬුවමක් හිමිවූ ඉතිහාසයේ පළමු කණ්ඩායම අමෙරිකාවයි.

ඉන්දියාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමග සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම පිළිබඳ පකිස්තානයට දැන් බලාපොරොත්තුවක් ඉතිරිව තිබෙනවා.

ඒ අනුව මීළඟ තරඟයෙන් පකිස්තානය ජයගත යුතු අතර, අමෙරිකාව ඔවුන්ගේ මීළඟ තරඟයෙන් පරාජය විය යුතුයි.

කෙසේවෙතත් එහිදී අමෙරිකාවට වඩා පකිස්තානයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ මට්ටමක තිබීම අනිවාර්යයි.