Friday, October 25, 2024

General line - 0115112241

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි - ධීවර සහ නාවික ප්‍රජාවටත් දැනුම්දීමක්




බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ක 50ක පමණ තද සුළංද ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ පිළිබඳ නිවේදනයක්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.  

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශද තරමක් රළු විය හැකි බැවින්, ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.