Sunday, September 8, 2024

General line - 0115112241

කොදෙව්වන් සුපිරි 8 වටයට - නවසීලන්තය අවදානමක




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් වුණා.

ඒ, නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම කඩුලු 09කට ලකුණු 149ක් රැස් කළා.

කොදෙව් කණ්ඩායමේ කඩුලු 05ක් ලකුණු 30කට බිඳ වැටී තිබූ අවස්ථාවේ විශිෂ්ට ඉනිමක් ගොඩනැඟූ ශෙර්ෆින් රදර්ෆර්ඩ් පන්දු 39කදී නොදැවී ලකුණු 68ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 09කට රැස්කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණයි. 

ඒ අනුව ‘සී’ කාණ්ඩයෙන් කොදෙව්වන් සුපර් එයිට් වටයට පිවිසි අතර නවසීලන්තයේ ඉරණම අවදානමකට ඇද වැටී තිබෙනවා.

ඒ, ඔවුන් සහභාගී වූ තරඟ 02ම පරාජය වීම හේතුවෙන්.

නවසීලන්තයට සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට නම් ඉදිරි තරඟ 02ම ඉහළ දල ලකුණු වේගයක් සමග ඔවුන් ජය ගත යුතුයි.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ උගන්ඩාව සහ පැපුවානිව්ගිනියාවයි.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය ඉදිරි තරඟ 02 පරාජය විය යුතුයි.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ පැපුවානිව්ගිනියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන්. 

කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානය ධන 5යි දශම 2ක ඉහළ දල ලකුණු වේගයක් රඳවාගෙන සිටියදී නවසීලන්තචයට හිමිව ඇත්තේ ඍණ 2යි දශම 4ක් පමණයි.