Tuesday, June 25, 2024

General line - 0115112241

සමන් කොල්ලාගේ ගෝලයෙකු STF අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලාගේ ගෝලයෙකු හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී මීටියාගොඩ, රොන්නදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම උප කඳවුරේ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගලගොඩ උප කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

යතුරුපැදියකින් හෙරොයින් ග්‍රෑම් 02යි, මිලි ග්‍රෑම් 840ක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සිද්ධියට අදාළ විමර්ශන මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අධි සුඛෝපභෝගී රථයකින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ත්‍රිකුණාමලය, ඔර්ශිල් මාවතේ හෝටලයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරට ලද තොරතුරකට අනුව ත්‍රිකුණාමලය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි, මිලි ග්‍රෑම් 160ක් ද සොයාගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම, පේසාලෙයි පදිංචි වයස අවුරුදු 32 පුද්ගලයෙකු සහ මෙම ජාවාරමට ආධාර අනුබල දුන් එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

ජාවාරම් කිරීම සඳහා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 18ක් සන්තකයේ තබා ගත් තවත් පුද්ගලයෙකු යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කයිට්ස්, අල්ලපිඩ්ඩි හංදිය අසල සිදු කළ වැටලීමකදීයි.