Friday, October 18, 2024

General line - 0115112241

කොදෙව් අපරාජිත බව බිඳවැටේ- එංගලන්තයට සුපිරි ජයක්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ සිය පළමු ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙතෙක් තරඟාවලියේ අපරාජිතව සිටි සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින්. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 180ක් රැස් කළා.

එංගලන්තය පන්දුවාර 17යි පන්දු 03ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා.

පිල් සොල්ට් පන්දු 47කදී නොදැවී ලකුණු 87යි.

එංගලන්තයට අවසන් පන්දුවාර 05දී ලකුණු 40ක් රැස් කර ගත යුතුව තිබූ අතර රොමාරියෝ ෂෙපර්ඩ් යොමු කළ තරඟයේ 16වන පන්දු වාරයට පිල් සෝල්ට් විසින් ලකුණු 30ක් රැස්කර ගනිමින් තරඟයේ තීරණය වෙනස් කළා.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු ජය ලැබීමට දකුණු අප්‍රිකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, අමෙරිකාවට එරෙහිව ලකුණු 18ක ජයක් වාර්තා කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දු වාර 20දී ලකුණු 194ක් රැස් කළා.

එහෙත් අමෙරිකාවට කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 176ක් පමණයි. 

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.