Sunday, September 8, 2024

General line - 0115112241

පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් දවා ගනිද්දී බංග්ලාදේශයට එරෙහි තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමිවුණා.

ඒ, ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස්කළා.

නායක නජ්මුල් හොසේන් ලකුණු 40ක් සහ ටවුහිඩ් රිඩෝයි ලකුණු 40ක් රැස්කිරීමට සමත් වුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් අද තරගයේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් වාර්තා පොත් අතරට එක්වුණා.

තරගයේ 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේදී සහ විසිවෙනි පන්දුවාරයේ පළමු පන්දුවේදී එම කඩුලු දවාගත්තා.

ඔහු වාර්තා පොත් අතරට එක්වුණේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පිට පිට කඩුලු ත්‍රිත්වයක් දවාගත් දෙවැනි පන්දු යවන්නා බවට පත්වෙමින්.

මීට පෙර බ්‍රෙට් ලී එලෙස කඩුලු ත්‍රිත්වයක් දවාගෙන තිබුණා.

අද තරගයේ ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ, පන්දුවාර 11යි පන්දු දෙදකට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 100ක් රැස්කරගෙන සිටියදීයි.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ ජය හිමි වුණා.

ඩේවිඩ් වෝනර් පන්දු 35කදී නොදැවී ලකුණු 53ක් රැස්කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 31යි.