Sunday, September 8, 2024

General line - 0115112241

කොදෙව් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය 3ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

ඒ, හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කණ්ඩායම් දෙක අතර පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 160කින් ජය ගනිමින්.

තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 275ක්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක චමරි අතපත්තු හයේ පහර දෙකක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 91ක් රැස්කළා. නිලක්ෂිකා සිල්වා ලකුණු 63යි.

අනුෂිකා සංජීවනී ලකුණු 55ක් රැස්කර සිටියදී දැවී ගියා.

ලකුණු 276ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දු වාර 34යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 115ක් පමණයි.

පන්දුවාර 05යි පන්දු 05ක් තුළ ලකුණු 28කට කඩුලු 05ක් දවාගත් සචිනි නිසංසලා තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

විශ්මි ගුණරත්න තරගාවලියේ වීරයා සම්මානය දිනාගනු ලැබුවා.