Sunday, September 8, 2024

General line - 0115112241

එංගලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව සුපිරි 08 දෙනාගේ වටයේ දෙවෙනි තරගයත් ජය ගනී




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ දෙවන ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ, තියුණු තරගයකින් අනතුරුව එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 07කින් ජය ගනිමින්.

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 163ක් රැස්කළා.

වේගවත් පිති හරඹක නිරත වූ ක්වින්ටන් ඩී කොක් පන්දු 38කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 65ක්. ඔහුගේ ඉණිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් වුණා.

ඩේවිඩ් මිලර් පන්දු 28කදී ලකුණු 43යි. කෙසේවෙතත් සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් කඩුලු 03ක් බිඳ හෙලුවා.

ජයග්‍රාහී ලකුණු 164ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 156ක් පමණයි. හැරී බෲක් ලකුණු 53ක් සහ ලියම් ලෙවින්ස්ටන් ලකුණු 33ක් රැස්කළා.

පන්දු යැවීමේදී කගිසෝ රබාඩා සහ කේෂව් මහාරාජ් කඩුලු 02 බැගින් බිඳ හෙලුවා. 

සුපිර් 08 දෙනාගේ වටයේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග පැවති පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගනු ලැබුවේ ලකුණු 18කින්. 

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තවත් තරගයක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.

තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 06යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් රැස්කරගෙන සිටියා.