Friday, October 18, 2024

General line - 0115112241

ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පැරදූ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමට විශිෂ්ට ජයක්




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් ප්‍රබල  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා ලකුණු 21ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන රාමනුල්ලාහ් ගුරුබාස් සහ ඊබ්‍රහීම් සර්දාන් පළමු කඩුල්ල සඳහා ලකුණු 118ක විශිෂ්ට සබඳතාවක් පැවැත්වුවා.

රාමනුල්ලාහ් ගුරුබාස් හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 04ක් එල්ල කරමින් ලකුණු 60ක් ලබා සිටියදී දැවී ගිය අතර ඊබ්‍රහීම් සර්දාන් ලකුණු 51කට දැවී ගියා.

සෙසු ක්‍රීඩකයන්ට ලකුණු 20 සීමාව පසුකර යාම සඳහා  ඕස්ට්‍රේලියානු පන්දු යවන්නනන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී  ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමිංග්ස් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහු මෙම ලෝක කුසලාන තරඟාවලියේ පිට පිට ලබා ගත් දෙවන කඩුලු ත්‍රිත්වය වීම විශේෂත්වයක්.

එමෙන්ම ලෝක කුසලාන තරඟාවලියකදී පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ලොව එකම ක්‍රීඩකයා ලෙස පැට් කමිංග්ස් පත් වුණා. 

ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගැනීමට පිටියට පිවිසි  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 127ක් පමණයි. 

ඒ අනුව ප්‍රබල  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 21ක ඓතිහාසික ජයක් ලබා ගත්තා.

ආරම්භයේ සිටම ඇෆ්ගනිස්ථාන් පන්දු යවන්නන්  ඕස්ට්‍රේලියා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ පළමු කඩුලු 05 ලකුණු 85ක් ඇතුළතදී දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමත් වුණා.

 ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වේල් ලකුණු 59ක් ලබා ගත් අතර ඩේවිඩ් වෝනර් ලකුණු 12ක් සහ මාර්ක්ස් ස්ටොයිනිස් ලකුණු 11ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ගුල්බදීන් නයිබ් ලකුණු 20කට කඩුලු 04ක් දවා ගත් අතර නවීන් උල් හක් කඩුලු 03ක් බිඳ හෙළුවා.