Sunday, September 8, 2024

General line - 0115112241

අමෙරිකා එක්සත් ජනපදය පැරදූ එංගලන්තයට පහසු ජයක්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 115ක් පමණයි. නිටිෂ් කුමාර් ලකුණු 30යි.

පන්දු යැවීමේදී ක්‍රිස්ටෝපර් ජෝර්ඩන් පන්දුවාර 02යි පන්දු 05ක් අවසානයේ ලකුණු 10ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් බිඳහෙලුවා.

ජයග්‍රාහී ලකුණු 116ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 09යි පන්දු 04ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 117ක් රැස්කරමින් තරගය ජය ගත්තා.

නායක ජෝස් බට්ලර් පන්දු 38කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 83ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහර 06ක් සහ හයේ පහර 07ක් ඇතුළත් වුණා.

පිලිප් සාල්ට් ලකුණු 29යි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදෙන කොදෙව් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 07ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 54ක් රැස්කරගෙන සිටියා.

කිසිදු ලකුණක් නොලබා ෂායි හෝප් දැවී ගිය අතර නිකලස් පූරන් රැස්කළේ එක් ලකුණක් පමණයි.