Friday, October 25, 2024

General line - 0115112241

ක්ෂේත්‍ර කිහිපයක රජයේ නිලධාරින් අද ලෙඩ වෙයි




වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.

ඇතැම් වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වන බව මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ අනුව අද සහ හෙට දෙදින අසනීප නිවාඩු වාර්තා කරමින් සිය සාමාජිකයන් සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටින බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පැවසුවේ.

එම සංගමයේ සභාපති එල් එම් ගම්මම්පිල කියා සිටියේ රජයේ විධායක සේවාවන් සඳහා වන විධායක දීමනාව සම්බන්ධයෙන් බලධාරින් මෙතෙක් අවධානය යොමු නොකිරීමට එරෙහිව එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. 

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විද්‍යාත්මක නිලධාරින්ගේ සංගමය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ ලේකම් ලක්ෂ්මන් කුමාර ගමගේ.

වෘත්තීය දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙස බලකරමින් සිය සාමාජිකයන් ද අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කරන බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි පැවසුවේ.

මේ අතර අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිති අද දිනයේ ද අසනීප නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

එම සංගමයේ ලේකම් අජිත් පී තිලකරත්න පැවසුවේ ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. 

අනධ්‍යයන වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූව ද රජයේ සියලුම පාසල් අද දිනයේ ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා.