Saturday, October 5, 2024

General line - 0115112241

ඉරාන ජනාධිපතිවරණයෙන් මසූඩ් පෙසෙෂ්කියන් ජය




හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි මරණයත් සමඟ පැවති ඉරාන ජනාධිපතිවරණයෙන් මසූඩ් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කර තිබෙනවා.

71 හැවිරිදි මසූඩ් පෙසෙෂ්කියන් හෘද ශල්‍ය වෛද්‍යවරයකු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මසූඩ් පෙසෙෂ්කියන් මිට පෙර මැතිවරණ දිස්ත්‍රික්ක කිහිපයක්ම නියෝජනය කරමින් ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

එසේම 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ඉරාන පාර්ලිමේන්තුවේ පළමු නියෝජ්‍ය කථානායකවරයා ලෙසද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හෙලිකොප්ටර් යානා අනතුරෙන් පසුව ඉරානයේ ජනාධිපතිවරණය නිල වශයෙන් ජුනි 28 වන දා ආරම්භ වුණා.

එහිදී වැඩිම ඡන්ද ලබා ගත් සයිඩ් ජලීලි සහ මසූඩ් පෙසෙෂ්කියන් අතර දෙවන අදියරේ ඡන්ද විමසීමක් පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අනුව සියයට 53යි දශම 03ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මසූඩ් පෙසෙෂ්කියන් ඉරානයේ ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් වුනා.

ඔහුගේ ප්‍රතිවාදියා වූ සයිඩ් ජලිලි සියයට 44යි දශම 03ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ එරට සැමරුම් උත්සව සංවිධානය කර ඇති බවට සඳහන්.

සයිඩ් ජලිලි සිය පරාජය පිළිගෙන ඇති අතර ඉදිරියේදී ජනධිපතිවරයාට සහාය වන බවද පවසා තිබෙනවා. 

මේවන විට මසූඩ් පෙසෙෂ්කියන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් චීනය, ඉන්දියාව සහ රුසියාව යන රටවල නායකයන්  සුබ පැතුම් එක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.