Friday, October 18, 2024

General line - 0115112241

ඉන්දු ශ්‍රී ලංකා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්




ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

එළඹෙන 27 වනදා ආරම්භ වන ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය සඳහා මේ වනවිට එල් පී එල් තරගාවලියේ දක්ෂතා දක්වමින් සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දක්වන දිනේශ් චන්දිමාල් යළිත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවදානය යොමුව තිබෙනවා.

දිනේශ් චන්දිමාල් එල් පී එල් තරගාවලියේ ඉනිම් 07කට මුහුණ දෙමින් ලකුණු 258ක් මේ වනවිට රැස්කරගෙන තිබෙනවා.

එමෙන්ම කුසල් මෙන්ඩිස් ඉන්දීය තරගාවලියේදී විවේක ගැන්වීමට ද තීරණයක් ගෙන තිබෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයට විස්සයි විස්ස තරග 03ක් සහ එක්දින තරග 03ක් ඇතුළත්. එහි පළමු විස්සයි විස්ස තරගය එළඹෙන 27 වනදා පැවැත්වෙන අතර එහි දෙවන තරගය 28 වනදා පැවැත් වෙනවා.

අවසන් විස්සයි විස්ස තරගය එළඹෙන 30 වනදා පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ එක්දින තරගයේ පළමු තරගය අගෝස්තු මස දෙවන දින ආරම්භ වන අතර එහි දෙවන තරගය අගෝස්තු 04 වනදා පැවැත්වීමට නියමිතයි.

තුන්වන සහ අවසන් එක්දින තරග අගෝස්තු මස 07 වනදා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.