Tuesday, September 17, 2024

General line - 0115112241

මන්කිපොක්ස් මර්දන පළමු එන්නත් තොගය කොංගෝවට




මන්කිපොක්ස් වෛරසය පාලනය කිරීම සඳහා නිපදවූ පළමු එන්නත් තොගය කොංගෝ ජනරජයට මේ වන විට ගෙන්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ යුරෝපා සංගමය විසින් පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රා රැගත් ගුවන් යානයක් කින්ෂාසා අගනුවරට වෙත ලගා වී ඇති බවයි.

එන්නත් ලක්ෂයක පමණ තොගයක් එලෙස කොංගෝවට ගෙන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

තවත්  එන්නත් ලක්ෂයක් පමණ  යුරෝපා සංගමය මගින් කොංගෝ රාජ්‍යයට ලබා දීමට නියමිත බවද වාර්තා වනවා.

එම එන්නත් යුරෝපයේ සහ එක්සත් ජනපදය මඟින් අනුමත කර තිබෙනවා.

එමෙන්ම එම එන්නත් වැඩිහිටියන්ට පමණක් ලබා දීමට තීරණය කර ඇති  අතර අදාළ එන්නත ළමුන් සඳහා භාවිතය පිළිබඳව තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසර ආරම්භයේ සිට මන්කිපොක්ස් රෝගීන් 17,500කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

තවත් පුද්ගලයන් 629ක් එම වයිරසය හේතුවෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.