Monday, September 23, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවන දිනය ගැන මහනුවරදී ජනපති දුන් ඉඟිය

කමල් සුරවීර




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව මහනුවර ප්‍රදේශයට ගොස් දළඳා සමිදුන් වැඳපුදා ගත්තා.

දළඳා සමිදුන් වැඳපුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් එහිදී ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දළඳා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමරු තිළිණියක් ද පිළිගන්වනු ලැබුවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැ දුටුවා.

එහිදී උන්වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ජනතාව ඉල්ලා සිටි වෙනස සිදු කිරීමට තමන් සූදානම් බව මහනාහිමිවරුන්ට දැනුම් දුන් බවයි.


සෑම ක්ෂේත්‍රයකම වෙනසක් ඇති කිරීමට සියලු පාර්ශවල සහාය ලබාගන්නා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.