Friday, April 26, 2024

General line - 0115112241

ඩිල්ෂාන් සමු ගැනීමට හේතු කියයි




කි‍්‍රකට් වංශ කතාවට තමාගේ නමින් ‘‘ඩිල්ස්කූප්’’ පහර හදුන්වා දුන් ශී‍්‍ර ලංකාවේ සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඕස්ටේ‍්‍රලියාව සමග ලබන ඉරිදා පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගය ඔහුගේ අවසන් තරගයයි.

1999 දි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනාගත් ඩිල්ෂාන් වසර 17 ක් පුරා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන්නේ තුන්ඉරියව්වෙන්ම දක්‍ෂතා දක්වමින්.

මේ අතර ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියෙන් පසු පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියටද සමුදෙන බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඩිල්ෂාන් පැවසුවේ.

තමන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළේ පවුලේ සෙසු සාමාජිකයින් සමගද සාකච්ඡා කිරීමෙන් පසුව බවත් , නවකයින්ට අවස්ථාවක් ලබාදීමට බවත් තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසුවා. ඔහු එම අදහස් පළකල හඬපටය පහතින් ඇසිය හැකියි.

ඕස්ටේ‍්‍රලියාව සමග පැවති පළමු එක්දින තරග දෙකේදී ඩිල්ෂාන්ට සාර්ථකවීමට හැකියාවක් ලැබුණේ නැහැ. තරගාවලියට නම් කළ සංචිතයට ඩිල්ෂාන්ට අමතරව ආරම්භක පිතිකරුවන් තිදෙනෙකු නම් කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබුණා.

මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 39 ක්. මීට පෙර ඩිල්ෂාන් ටෙස්ට් කි‍්‍රකට් පිටියටද සමු දුන්නා.

එක්දින තරග 329 කදී ලකුණු දසදහස් දෙසිය හතලිස් අටක් රැස්කරගෙන ඇති ඩිල්ෂාන් ශතක 22 ක් සමග අර්ධ ශතක 47 ක්ද ඔහුගේ නම ඉදිරියේ සටහන් කර ගත්තා.

දග පන්දු යවන්නෙකු ලෙස ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 106 ක්. ලෝක එක්දින කි‍්‍රකට් පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර 11 වන ස්ථානය හිමි වන්නේද ඩිල්ෂාන්ටයි.

එක්දින පිටියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කී‍්‍රඩකයන් අතර ඩිල්ෂාන් 9 වන ස්ථානයේ පසු වනවා.