රජය සහල් සඳහා පාලන මිලක් නියම කළ ද වෙළඳසැල් සඳහා ප්‍රමාණවත් සහල් ප්‍රමාණයක් නොලැබෙන බව වෙළඳසැල් හිමියන් පවසනවා.
ඔවුන් පවසන්නේ ප්‍රමාණවත් සහල් ප්‍රමාණයක් වෙළඳසැල්වලට ලැබුනහොත් රජය නියම කළ ආකාරයට මහජනතාවට සහල් ලබාදිය හැකි බවයි.
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන හාල් මෝල්වලින් සහල් බෙදා හැරීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂාවක් සිදු කරන බව පාරිභොගික අධිකාරිය පවසනවා.
මේ අතර වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කරන ලද සහල් මිල පරිදි නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225 ක් වන අතර එහි සිල්ලර මිල රුපියල් 230 ක් වනවා.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215 ක් ලෙස සඳහන් වන අතර එහි සිල්ලර මිල රුපියල් 220 ක්.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 ක් වනවා.
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235 ක් වන අතර එහි සිල්ලර මිල රුපියල් 240 ක්.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 ක් වන අතර එහි සිල්ලර මිල සඳහන් වන්නේ රුපියල් 260 ක් ලෙසයි.
වෙළඳපොලෙහි පවතින සහල් සහ පොල් හිඟය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල ද මේ වන විට විවිධ අදහස් පළ වනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ රජය සෘජුව මැදිහත් වී කටයුතු කළ යුතු බවයි.
මේ වන විට රට තුළ පවතින පොල් නිෂ්පාදනය ද සියයට 30කින් පමණ පහළ ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.