මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රා දෙකක් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකල විශේෂ මෙහෙයුමකදීයි.
එහිදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව බවයි නාවික හමුදාව පැවසුවේ.
මේ අතර මෙම වසරේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රා 70 ක් සහ ඉන්දීය ධීවරයින් 537 දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.