ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට ජපානය විසින්, යෙන් මිලියන 300ක ප්‍රදානයක් සිදුකර තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන මගින් එම ප්‍රදානය සිදුකර ඇති බවයි.
ඒ, කසළ ප්‍රවාහනය සදහා භාවිත කරන නවීනතම කම්පැක්ටර් රථ 28ක් ලබාගැනීම සඳහායි.
ඒ අනුව එම නවීනතම කම්පැක්ටර් රථ බස්නාහිර, උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන වෙත ලබාදීමට නියමිතයි.
එම නවීනතම කම්පැක්ටර් රථ ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර සහ ලියවිලි අත්සන් කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමතා මහතා විසින් අදාළ ලේඛන අත්සන් කළ බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.
වේගවත් නාගරිකරණය හේතුවෙන් තිව්‍ර වී ඇති නීතිවිරෝධී කසළ බැහැර කිරීම සහ පරිසර දුෂණය ඇතුළු අභියෝග, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් භෞතික පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම මගින් විසඳා ගැනීමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් අපේක්‍ෂා කෙරෙනවා.