Saturday, April 20, 2024

General line - 0115112241

ඉරාක ආක්‍රමණය ගැන ටෝනි බ්ලෙයාර් සමාව ඉල්ලයි (VIDEO)




ඉරාක යුද්ධයට බ්‍රිතාන්‍යය සම්බන්ධ කිරීමේ සම්පූර්ණ වගකීම තමා භාර ගන්නා බව බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පවසන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරයා එම ප්‍රකාශය කර ඇත්තේ, 2003 වසරේ ඇමෙරිකාවේ මෙහෙයවීමෙන් බ්‍රිතාන්‍යය ඉරාක යුද්ධයට හවුල් වීම මගින් ඇති කරන ලද ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කෙරෙන ‘චිල්කොට් වාර්තාව’ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමින්.

වසර හතක දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කමිටුවේ සභාපති ශ්‍රීමත් ජෝන් චිල්කොට් ඊයේ (06) සිය නිගමන ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව ප්‍රකාශයට පත් කළා.

එම වාර්තාව හරහා, බුද්ධි අංශ මගින් සිදු කරන ලද වැරදි තොරතුරු මත පදනම්ව සිදු කළ තක්සේරු කිරීම් අනුව බ්‍රිතාන්‍ය පාලනය ඉරාකය සම්බන්ධ යුද පිළිවෙත තීන්දු කර ඇති බව දැන් පැහැදිළි බවයි අනාවරණය කර ඇත්තේ.

‘චිල්කොට් වාර්තාව’ ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ‘ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් තමා කනගාටු වෙන බවත් ඒ පිළිබඳව සමාව අයදින බවත්’ කියා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

‘බුද්ධි අංශවල තක්සේරු කිරීම් වැරදි අතට හැරුණා. ප්‍රතිවිපාකය අපි හිතුවාට වැඩිය දරුණු වුනා. ඒත් නිදහසට කරුණු කීමෙන් හෝ මග හැර යාමෙන් තොරව ඉරාක ප්‍රහාරයේ වගකීම සහමුලින්ම මම භාර ගන්නවා. මම විශ්වාස කරනවා සදාම් හුසේන් ඉවත් කරනු ලැබීම වඩාත් යහපත් වූ බව. මැදපෙරදිග හෝ ලෝකයේ වෙනත් තැනක අද අපි අත්විඳින ත්‍රස්තවාදයට හේතුව ඉරාක ආක්‍රමණය යයි මම පිළිගන්නේ නැහැ.’ යැයිද හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.