Tuesday, September 24, 2024

General line - 0115112241

සටන අතහරින්න වැඩි පිරිසක් කැමැත්තෙන්




වැඩි වැටුප් ඉල්ලා කළ වෘත්තීය සමිති අරගලය නවතා දැමීමට වතු කම්කරු වෘත්තීය සමිති වැඩි සංඛ්‍යාවක් කැමැත්ත පළ කර තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී වතු කම්කරු නියෝජිතයින් සහ වතු හාම්පුතුන් එළඹි එකඟතා අනුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

වතු කම්කරුවන්ගේ වැඩිකළ දෛනික වැටුප වන රුපියල් 730 ලබන 15 වෙනි දින සිට වතු කම්කරුවන්ට ගෙවීම, එළඹ තිබෙන පළමු එකඟතාවයි. වසරකට දින 250 ක අවමයකට යටත්ව වතු කම්කරුවන්ගේ සේවය ලබාගැනීමට ද වතු හාම්පුතුන් එකඟ වී තිබෙනවා. අදාළ කරුණු ඇතුළත් සාමූහික ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන 14 වෙනිදාට පෙර ලබාගැනීමට ද එකඟතාවක් ඇති වූ බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසන්නේ.

කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න සහ කම්කරු රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

කෙසේ වෙතත් සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසන්නේ වැඩි වැටුප් දිනා ගැනීමේ අරගලය අතරමග නතර කිරීම වතු කම්කරුවන් පාවාදීමක් බවයි. එහි ප‍්‍රධාන ලේකම් ජේ.එම්.ඒ. පේ‍්‍රමරත්න සඳහන් කළේ කම්කරුවන්ට තවත් රුපියල් සීයයක් හෝ ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබූ බවයි. තවද මෙම ගිවිසුම මගින් වසර එකහමාරක හිඟ වැටුප නොදීමට එකඟ වී ඇති බවත් සඳහන් කළා.

දේශපාලනය පාදක කරගනිමින් තීරණ ගන්නා වෘත්තීය සමිති නායකයින්ට තවදුරටත් නොරැවටී මින් ඉදිරියට හෝ ස්වාධීනව කටයුතු කරන්නැයි වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.