Thursday, April 25, 2024

General line - 0115112241

සංහිඳියාව විවේචනය කරන පිරිසට හඬන්න වෙයි – ජනපති




සංහිඳියාවේ සහ ජාතික සමගියේ අවශ්‍යතාව අඩු තක්සේරුවට ලක් කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ‘‘වින්ග්ස් 2016’’ කලා උළලේ සමාප්ති උත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමින්.

“සංහිඳියාව පිළිබඳ කතාකරන විට ඇතැම් අය මේ සංහිඳියා වචනය අපහාසයට සහ උපහාසයට ලක්කරනවා. රජයේ සංහිඳියාව පිළිබඳව ජාතික වැඩසටහනක් ගෙනයන විට මම දැක්කා රජයට විරුද්ධව මත දරන අය ෆෙඩරල් සංහිඳියාව කියලා මෙය හඳුන්වන්නට පටන් අරගෙන තිබෙනවා. අපි ගෙනියන ජාතික සංහිඳියා වැඩපිළිවෙලට ෆෙඩරල් සංහිඳියාව කියා අපහාස සහ උපහාස කරනවානම් එසේ කරන අයට යම් කිසි දවසක නැවතත් හඬන්න වේවී කියා මා විශේෂයෙන්ම මතක් කරනවා. අපේ රටේ ඉදිරි අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග අප විසින් තේරුම් ගත යුතුයි. සංහිඳියාවේ සහ ජාතික සමගියේ ක්‍රියාශීලීත්වය සහ අවශ්‍යතාවය අඩුතක්සේරුවකට ලක්කිරීම ඛේදජනක දෙයක් විදිහටයි මම දකින්නේ”.

ජාතියේ අනාගතය පිළිබඳ න්‍යාය පත‍්‍රය එක් එක් අයගේ බලය හා පෞද්ගලිකත්වය මුල්කරගත් දේශපාලන න්‍යායපත‍්‍රවලින් යට කළ නොහැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක නවයක තරුණ හා ප‍්‍රවීණ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් කිලිනොච්චියෙන් ඉකුත් දා ආරම්භ වූ වින්ග්ස් 216 අපේක්ෂාවේ පියාසැරිය කලා උළෙල කොළඹ දී ඊයේ අවසන් වුණා.