Monday, April 29, 2024

General line - 0115112241

රැදවියන්ගේ නඩු ඇසීමට මහේස්ත‍්‍රාත්වරුන් බන්ධනාගාර වෙත එවීමට අලූත් නීතියක්




බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දින 14කට වරක් අධිකරණය වෙත රැගෙන යාමේ නීතිය සංශෝධන කිරිම සඳහා අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරිමට අවධානය යොමුව තිබෙනවා. 

මෙරට අපරාධ නීතිය සංශෝධනය කිරිම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ බුවනෙක අළුවිහාරේ කමිටුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

එම කමිටුවේ සාමාජිකයෙකු වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත කියා සිටියේ සැකකරුවන් අධිකරණය වෙත ගෙන යාම වෙනුවට මහේස්ත‍්‍රාත්වරයෙකු අදාළ කටයුතු සඳහා බන්ධනාගාර වෙත යොමුකරවීමට කමිටුව යෝජනා කර ඇති බවයි. 

එම නිර්දේශ කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙසද කමිටුව යෝජනා කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.
 
පාතාල නායක සමයං ඇතුළු පිරිසක් අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කර මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩි දුරටත් සඳහන් කළේ.