Sunday, September 22, 2024

General line - 0115112241

පුණ්‍ය කාලය උදාවෙයි - ආගමික වතාවත්වල යෙදීම සුබ පල ඇති කරයි




මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය මේ වන විට උදා වී තිබෙනවා.

මෙවර නැකැත් පත‍්‍රය අනුව අපරභාර 7.40 ට පුණ්‍ය කාලය උදා වුණා.

14 වැනි සිකුරාදා පූර්ව භාග 8.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අද දින අපරභාග 7.40 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් පත‍්‍රයේ සඳහන් වන්නේ.

අද පස්වරු 7.40ට උදා වූ පුණ්‍ය කාලයේදී ආගමික කටයුතුවල යෙදීම සුබ පල ගෙන දෙන්නක් බව විද්වතුන්ද පවසනවා.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි සඳහන් කළේ පැරැන්නන් විසින් නැකැතක් නැති කාලය ආගමික වතාවත් වෙනුවෙන් වෙන් කළේ හේතු ඇතිව බවයි. 

පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් හෙට (14) පූර්ව භාග 2.04ට සිංහල අලුත් අවුරුද්ද උදා වනවා.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්ව භාග 5.41ටයි. රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක් ද පිළියෙලකර ගැනීම සුදුසු බවයි නැකැත් පත‍්‍රයේ සඳහන් වන්නේ.

වැඩ ඇල්ලීම, ගණු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ හෙට පූර්ව භාග 07.05ටයි. සුදු සහ නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව නැකත් පත‍්‍රයේ සඳහන් වනවා.

නෙත් එෆ්.එම්. රේඩියෝව මෙවර අවුරුදු චාරිත‍්‍ර සිදු කරනු ලබන්නේ හොරණ රණවිරු ගම්මානයේ සිටයි.