Sunday, September 22, 2024

General line - 0115112241

පිළියන්දල වෙඩි තැබීමෙන් මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්




මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා සහභාගි වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රීයේ එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා. 

ඒ පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේයි. 

මෙම ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල් චන්දිම අබේවික්‍රම ජීවිතක්ෂයට පත්වුණා. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු  පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමටයි පොලිස්පතිවරයා කටයුතුකර ඇත්තේ. 

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අනිද්දා මාරවිල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. 

ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල් චමින්ද අබේවික්‍රම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සිටි දක්ෂතම නිලධාරියෙකු බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. වසර 15ක සේවා කාලය තුළ ඔහු 112 වතාවක් ප්‍රශංසාවට ලක්වූ අයෙක්. 

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සෙසු නිලධාරීන්ට ද අවශ්‍ය සියලූ පහසුකම් සහ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලෙසටයි පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. 

වැටලීම සිදු කළ පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව ද මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

ඔහු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සිටි දක්ෂතම නිලධාරියෙක්. මෑත කාලයේ මෙරට සිදුකර ඇති ප්‍රධානතම මත්ද්‍රව්‍ය වැටලිම් සියල්ලටම පාහේ ඔහු දායකත්වය ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ. 

මෙම ප්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියක් විසින් සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පල කරනවා.

 ප්‍රහාරය සදහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය මහරගම ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. යතුරුපැදියකින් ගමන් ගත් සන්නද්ද පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියක් උපයෝගී කර ගෙන වෙඩි තැබිම සිදු කර ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිඛෙනවා.