Sunday, September 22, 2024

General line - 0115112241

ලංකාවට එන්න පෙර මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්




තමා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකට එක්වන්නේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සහ වෙනත් වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

 ඒ සිය ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට පෙර ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. මෙම සටහන සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සටහන් කර තිබීම විශේෂත්වයක්. 

එහි දැක්වෙන්නේ සිය සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුණ ගැසී සාකච්ඡා කරන බවයි. මෙය තමාගේ දෙවන ශ්‍රී ලංකා නිල සංචාරය බවත් එය දෙරටේ සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉවහල් වන බවත් නරේන්ද්‍ර මෝදි පවසනවා. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පස්වරුවේ දිවයිනට පැමිණෙනවා. ඒ මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සදහා සහභාගිවීමේ අරමුණින්. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ පස්වරු 06ටයි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුව හෙට පැවැත්වෙනවා. 

ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහු මෙරටට පැමිණෙන දෙවන අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතිශ්‍ය වැදගත් බවයි බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ නෙත් නිවුස් වෙත කියා සිටියේ.