Sunday, September 22, 2024

General line - 0115112241

බොන්න වතුර නෑ..ඉන්න ගෙවල් නෑ.. - රටටම එළවලු දුන් මිනිස්සු උමා ඔයේ කඳුළු පෙන්වයි




පැලී ඉරිතැලී ගිය මහ පොලවටත් වඩා තම ජිවිත පුපුරා ගොස් තිබෙන බව  උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ තත්වයට පත්ව නිවාස හා තම සශ්‍රීක භුමි අහිමි වූ  නැවත පදිංචි කළ ගම්මානවල වෙසෙන  වැසියෝ පවසනවා.

රුහුණෙන් රටටම බත සපයන විට ඒ බතට සරිලන එළවලු ටික සැපයුයේ ඔවුන් ය . 

කඳු හෙල් තුල ගැටෙමින් ගොවිබිම් සරු කරමින් තම ජීවිතය වින්ද ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත පමණක් නොව ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ ද ජීවිත ද  මේ වනවිට පත්ව ඇති තත්ත්වයයි මේ.


 

පසුගිය රජය මගින් 2008 අප්‍රේල් මස 29 වනදා මුල් ගල තබා උමා ඔය  සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කලත් මෙම සංවර්ධන  ව්‍යාපෘතිය ආරම්භ  කර වසර කීපයක් යන්නට මත්තෙන්  සිදුවූ පරිසර වෙනස් වීම තුල යම් යම් ප්‍රදේශයන්හි සිටි ජනතාව ඉන් ඉවත් කරන්නට වුණා.

එසේ ඉවත් වූ ජනතාවට හිමි වුයේ අවතැන් කඳවුරු ය.

නමුත් මේ වන විට එම අවතැන් කදවුරුවල සිටි ජනතාව හට වෙනත් ප්‍රදේශයන්ගෙන් ඉඩම් ලබා දී නැවත පදිංචි කලත් එම ප්‍රදේශයන් තුල ඔවුන් හට අවශ්‍ය පසුකම් හා කිසිදු ජිවන උපායක් නොමැති බවයි එම ප්‍රදේශයන්හි ජනතාව පවසා සිටින්නේ .


වසර ගණනාවක් තමන් ජිවත් වූ සශ්‍රික ගොවි බිම් අත හැරීමට සිදුවන්නේ ඔවුන්ගේ කැමැත්ත පරිදි නොවෙයි.

ඒ සංවර්ධන ව්‍යාපෘතියක ප්‍රතිපලයක් වශයෙනුයි.


 

ඒ තුලින් රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට බරපතල අභියෝගයක් එල්ල වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතාවගේ මුලික අයිතිවාසිකමක් වන කිසිම පුරවැසියෙකු උපන් ස්ථානය හෝ වෙනත් එබඳු හේතුන් මත වෙනස් කමකට භාජනය නොවිය යුතුය යන්න කඩ වීමෙනි .

එපමණක් නොවේ රටේ පවත්නා  ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින්  තහවුරු කර තිබෙන එකලාව අන් අය හා සමග යම් නිත්‍යානුකුල රැකියාවක වෘත්තියක ,කර්මාන්තයක , වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස ද මෙම උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජනතාවට අහිමිව තිබෙනවා.


 

ජිවන මාර්ග අහිමි වෙලා

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ප්‍රදේශයක් ලෙස ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උමා නදී නව ගම්මානය පෙන්වා දිය හැකියි.

එම ගම්මානයේ ජිවත් වන්නේ  උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිසා මුල් කාලීනව තම නිජබිම් අහිමි වූ පවුල් 89 කි .


 

''මම උමා ඔය  ව්‍යාපෘතිය නිසා අවතැන් වෙලා මේ ගමට ආපු කෙනෙක්. මම ජිවත් වුනේ ගොවිතැන් කරලා. මම ඉඩකඩම් තුනක  හතරක වගා  කල කෙනෙක්. මගේ ලග හතර පස් දෙනෙක් එදා  සේවය කළා.  නමුත් ඒ ගොවිබිම් අපට අහිමි උනා . " එමෙන්ම අද තමන් හට වෙනත් ස්ථානවල කුලියට යන්න සිද්දවෙලා තිබෙන බව උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් තම නිජබිම් හා වගා බිම් අහිමිව උමා නදී නැවත පදිංචි කිරීමේ ගම්මානයේ වෙසෙන ආර් .එම් .සුනිල් පවසා සිටිනවා.


 

'' මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ අය ජිවත් කරන්න ඕන. අපිට මේ ගම්මානයේ කිසිම අදායමක් නෑ. අපි ගමේ ඉද්දි බිලකට කියල ගෙවුවේ ලයිට් බිල විතරයි .වතුර බිවුවේ ස්වාභාවික උල්පත් වලින් .අපි එළවලු ටික පලතුරු ටික කෑවේ කඩෙන් ගෙනැල්ල නොවේ .අපි හදා ගත්තු ඒවා තමයි කෑවේ .දැන් අපිට සතියකට දෙසැරයක් තමයි වතුර හම්බවෙන්නේ.  ඒවත් ක්ලෝරීන් වතුර ඒවා මේ මිනිසුන්ට බොන්න බෑ . කිලෝ මීටරයක් විතර ගිහිල්ලා නල ලිදකින් වතුර ටිකක් ගන්නවා .අපි දැන් මේ කන්දක් උඩට ගෙනල්ලා දාලා අසරණ කර තිබෙනවා." ඔහු කියා සිටියා.

 


 පර්චස් 40 කට කොටු වූ ජීවිත

 

වසර ගණනාවක් අක්කර ගණන් ගොවි බිම් සරු කරමින් ජිවත් වූ ජනතාවට අද පර්චස් 40 ක තරම් කුඩා බිම් කොටසකට කොටු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ නිසාම මෙතෙක් කළ ගොවිතැන ඔවුන්ට අහිමි වී හමාරය .අවාසනාවට එම පර්චස් 40ටවත් හිමිකම් කියන්නට තරම් ඔවුන්හට ඒ සඳහා කිසිදු ඉඩම් ඔප්පුවක් ලැබී නොමැති බවයි හෙළි වුණේ.


 

'' අපිට පර්චස් 180 ක් විතර තිබ්බා. ගෙදර කාමර 05ක් තිබ්බා. ඒවා පරම්පරාවෙන් ආපු ඉඩම්. අපි අවුරුදු 35 ක් පදිංචිවෙලා හිටියා. නමුත්  ඒ ඉඩමට ඔප්පුවක් තිබුනේ නෑ. බලපත්‍රක් විතරයි තිබුනේ .ඒ නිසා අපිට දුන්නේ සංවර්ධන වටිනාකම විතරයි. දුන්නේ දෙලක්ෂ අසුදාහක් විතර  .මම ඒ ඉඩම්වල තක්කාලි හැදුවා. අපි මාසයකට ලක්ෂ ගානක් ඒ ඉඩම්වලින් උපයා ගත්තා. ළමයින්ට ඉගැන්නුවෙත් එම මුදලින්. දැන් කිසිම ආදායමක් නැති නිසා  ස්වාමි පුරුෂයාට ලොරියක වැඩට යාමට සිදුවී තිබෙනවා."   රූපවති ජයසේකර කියා සිටියා.



'' අපි ජීවත්වුණේ ඇස්වැද්දුම ගමේ. උමා ඔයෙන් අවතැන්වෙලා මොරගොල්ල ප්‍රදේශයට පදිංචියට ආවා. අපි ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ ව්‍යාපෘතිය නිසා මෙච්චර අසාධාරණයක් මිනිස්සුන්ට වෙයි කියලා .අපිට ලැබුන වන්දි මුදලත් ප්‍රමාණවත් උනේ නෑ. මෙහෙ ඇවිල්ල ගෙවල් හදා ගන්න අපි ණය වෙලා තමයි ගෙවල් හැදුවේ . 'ජේ .එච් එම පුෂ්පකාන්ති  කියා සිටියේ එලෙසයි.

 

'' අපි ජීවත්වුණේ පුහුල්පොල.  අපි ජීවත්වුණේ ගොවිතැන් කරලා. අපේ ඉඩම් උමා ඔයට යටවුනා. පස්සේ අපි මෙහාට ආවා. ඊටපස්සේ මහත්තයාට රැකියාව නැති වුන නිසා එයා දැන් කොළඹ ගිහින් කුලී වැඩ කරනව"  එම්. බි ,නයනා කියා සිටිය.


 

  ජනතාවගේ මුලික අයිතීන් උල්ලංගනය වෙලා   

මෙම  සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල සිටින ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇති බව උමා ඔය බහු විනාෂකාරි  ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැදවුම් කරු ඌව  පලාත්සබා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

  '' දැන් මේ ප්‍රදේශයන් තුල මිනිසුන්ට බොන්න වතුර ටික නෑ. බොහෝ අයට ඉන්න ගෙවල් දොරවල් නෑ, වගා බිම් අහිමිවෙලා ජීවත්වෙන්න විදියක් නෑ ,අපේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ කතිර ගහන එක විතරක් නොවේ. ව්‍යාපෘතියක් කරනකොට ජනතාවගෙන් අහන්න ඕන මේකට කැමතිද නැද්ද කියලා .මේකෙදි එහෙම කළේ නෑ .  ව්‍යාපෘතිය තෝරන්නේ පාලකයෝ. පාලකයෝ තෝරන්නේ තමන්ට වැඩිපුර කොමිස් ලැබෙන දේ ඒ විෂය සම්බන්ධ ප්‍රවීනයන්ට එක තෝරන්න ඉඩක් නෑ .

එහෙම පාලකයෝ තෝරපු ව්‍යාපෘතියක්  තමයි උමා ඔය කියන්නේ .අපි පාර්ලිමෙන්තුවේදී .පළාත් සභාවේදී ,පළාත්පාලන ආයතන තුලදී මෙන්ම 2016 වසරේ ආණ්ඩුක්‍රම  ව්‍යස්ථා සංශෝධනය සදහා ජනතා අදහස් ලබා ගන්නා විටදී ද මේ සම්බන්ධයෙන් දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් ආණ්ඩුව කළේ නෑ " යනුවෙන් පළාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුල සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලියේ දී එම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඔවුන්ගේ ද අදහස් හා යෝජනා මෙන්ම පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් හට ද ඒ සඳහා සහභාගි වෙමින් අදහස් දැක්වීමට යෝජනා ඉදිරිපත් කිරීමට නව ව්‍යස්ථාවක් තුලින් අවකාශය හිමි විය යුතු බවත් ඌව පළාත්සභා මන්ත්‍රී  සමන්ත විද්‍යාරත්න පවසා සිටිනවා.


 

යෝජිත ව්‍යවස්ථාව හා මානව අයිතීන්

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා නීතිඥ ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව විසින් සම්පාදනය කර රජය වෙත භාර දී ඇති වාර්තාවේද ඉඩම්, පරිසර අයිතිවාසිකම් මෙන්ම එහි 17 වන පරිච්ඡේදය මගින් පිරිසිදු ජලය ,පිරිසිදු  වාතය හා ජිවිත අයිතියට අවශ්‍ය අනෙකුත් දේ ඇතුළු පරිසර ආරක්ෂාව සපයමින් ජනතාවට මානව ආරක්ෂාව තහවුරු කළ යුතු බව ද පෙන්වා තිබෙනවා.


 

කෙසේ නමුත් අද වන විට බණ්ඩාරවෙල ,ඇල්ල , හාලි ඇළ , ඌවපරණ ගම , වැලිමඩ , වැල්ලවාය , යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාවක් අවතැන් වී හමාරය .ඒ සමග ජනතාගේ දැඩි විරෝධයක් ද මෙම ව්‍යාපෘතියට විරුද්ධව පවතිනවා.

 ඒ හේතුවෙන් මේ ගැන සොයා බැලීම සඳහා රජය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එහි සාමාජිකයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ මෙලෙසයි.

'' උමාඔය ඇතිවී තිබෙන තත්වය පිළිබඳව සොයා බැලීම සදහා අමාත්‍ය අනුකමිටුවක් ද පත් කළා. මම ඇතුළු අමාත්‍යවරු තුන් දෙනෙකුගෙන් යුක්තව අපි දැනටමත් ඒ ගැන තොරතුරු ලබා ගැනීමක් සිදුවෙනවා. එහිදී පසුගිය කාලයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන විට නිසි ඇගයීමකට ලක් වුයේ නැති බව අනාවරණය වී තිබෙනවා .ඒ වගේම මේ සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ විරෝධයක් තිබුන බවද හෙළිවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශීය විශේෂඥයින් ගෙන්වනවා." යනුවෙන් අමාත්‍ය වරයා කියා සිටියා.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  තුල ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා . නමුත් ජනතාවගෙන් එම අදහස් ලබා ගන්නවා වගේම එම අදහස් ක්‍රියාත්මක වීම තමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා රජය මිට වඩා හොඳ වැඩ පිළිවෙලකට යාමට බලාපොරොත්තු වනවා." යැයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

 

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)