Friday, October 18, 2024

General line - 0115112241

දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර/ඩිල්ෂාන් මඩවල




වර්ජනය අවසන් වුවද දුම්රිය ධාවන කටයුතු අද දිනය තුළ සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත් නොවනු ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසනවා. කෙසේවෙතත් හෙට (14) දිනය වනවිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණ කියාසිටියේ.  

වර්ජනයෙන් අවසන්වීමෙන් පසු දුම්රිය ධාවන කටයුතු පිළිබද නෙත් නිවුස් දුම්රිය පාලක මැදිරියෙන් විමසීමක් කළා. එහිදී පැවසුවේ සේවකයින් සේවයට වාර්තා කරන අයුරින් දුම්රිය ධාවනය වන බවය. කෙසේ වෙතත් යම් ප්‍රමාධයක් ඇති බවද පාලක මැදිරිය පැවසුවා.
 

--------------------------------------------------------------

වැඩවර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරයි 

13-12-2017 11:10

දුම්රිය වෘත්තීය සමිති මේ වන විට සිදු කරමින් සිටින දුම්රිය වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දැනුම් දී තිබෙනවා.

වැඩවර්ජනයක නිරත දුම්රිය වෘත්තිය සමිති සහ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සළකා බැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාව අතර අද (13) පැවැත්වුණු තීරණාත්මක සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ වී තිබෙනවා.

ඒ අනුව එම කැබිනට් අනුකාරක සභාව නියෝජනය කරන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අවසන් කිරීමට එකඟ වූ බවයි.

 

----------------------------------------

දුම්රිය වර්ජනයේ තීරණාත්මක සාකච්ඡාව ඇරඹෙයි (UPDATE)

(13-12-2017 11:05)

 

වැඩවර්ජනයක නිරත දුම්රිය වෘත්තිය සමිති සහ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සළකා බැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාව අතර තීරණාත්මක සාකච්ඡාව මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ‍්‍රයේදියි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින්ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටිනවා. 

දුම්රිය වෘත්තිය සමිති අද (13) උදෑසන කියා සිටියේ වැඩවර්ජනය තවදුරටත් සිදු කරන්නේ ද නැද්ද යන්න මෙම සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බවයි. 
 

---------------------------------

දුම්රිය රියදුරන්ගේ වැටුප ලක්ෂ 02 ඉක්මවයි - තවත් වැඩි කළොත් ගැටලු රැසක්

(13-12-2017 05:45)

 

වැඩවර්ජනයක නිරත දුම්රිය වෘත්තිය සමති සහ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සළකා බැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාව අතර, තීරණාත්මක සාකච්ඡාවක් අද (13) පැවැත්වෙනවා.

වැඩවර්ජනය තවදුරටත් සිදු කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙම සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බවයි වෘත්තිය සමිති පැවසුවේ.

මේ අතර, ශ්‍රේණි කිහිපයක සේවකයන් වැඩවර්ජනයක යෙදී සිටිය ද අද  දිනයේද හැකි පමණ දුම්රිය ප‍්‍රමාණයක් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යාලයීය හා ඉන්ධන ප‍්‍රවාහන දුම්රියන්ට එහිදී ප‍්‍රමුඛතාව ලබා දෙන බවයි ධාවන බල ප‍්‍රධාන ඉංජිනේරු එම්. ජේ. ඞී. ප‍්‍රනාන්දු කියා සිටියේ.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඉකුත් 07 වැනිදා සිට මෙලෙස වැඩවර්ජනයේ යෙදී සිටිනවා. මුලින් මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ දුම්රිය එන්ජින් රියදුරන් විසින්. ඒ, දුම්රිය එන්ජින් රියදුරු සහයක ශ්‍රේණියට සිදු කෙරෙන නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්. පසුව වැටුප් ගැටලූවක් මුල් කරගනිමින් තවත් ශ්‍රේණි කිහිපයක වෘත්තිය සමිති මෙම වැඩවර්ජනයට එක් වුණා. 

වැඩවර්ජනය ආරම්භ කළ දුම්රිය එන්ජින් රියදුරන් ඉකුත් 9 වැනිදා කියා සිටියේ දුම්රිය එන්ජින් රියදුරු සහයක ශ්‍රේණියට කෙරෙන නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් තමන් මුලින් ඉදිරිපත් කළ ගැටලූවට ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී විසඳුම් ලැබුණු බවයි.

එහෙත් වැටුප් ගැටලූ සම්බන්ධයෙන් විසඳුම් ලැබෙන තෙක් සෙසු ශ්‍රේණිවල වෘත්තිය සමිති සමග තවදුරටත් වැඩවර්ජනය කරන බවද ඔවුන් පැවසුවා. 

ආණ්ඩුව පවසන්නේ දුම්රිය වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් ඉල්ලීම් ඉටු කළහොත් සෞඛ්‍ය ඇතුළු සෙසු සේවාවන් කිහිපයක සේවකයන්ට ද බලපෑම් ඇති වන බවයි. මෙම සියලු කැරුණු සළකා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමටයි කැබිනට් අනුකාරක සභාවක් පත් කර ඇත්තේ. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම එහි සභාපතීත්වය දරනවා. 

මේ අතර, වැටුප් ගැටලූ පාදක කරගනිමින් මේ වනවිට වැඩවර්ජනයක නිරත දුම්රිය එන්ජින් රියදුරන් සියලූ දිමනා ද සමග දැනට ලබන වැටුප මසකට රුපියල් එක් ලක්ෂ 50,000ත් දෙලක්ෂ 20,000ත් අතර බවයි නෙත් නිවුස් කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය නියාමකවරුන් ද රුපියල් එක් ලක්ෂ 50,000 ඉක්මවූ වැටුපක් මාසිකව ලබන බව මෙම විමසීමේදී දැනගන්නට ලැබුණා.