Monday, October 21, 2024

General line - 0115112241

නත්තල් දවසෙත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්




නත්තල් සැමරුම යෙදී තිබුණු ඊයේ (25) දිනයේත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබද පැමිණිලි කිහිපයක් පොලීසියට ලැබී තිබෙනවා. 

ඒවායින් එක් පැමිණිල්ලක් ලැබී ඇත්තේ අයගම පොලිස් වසමේදී මැතිවරණ කාර්යාලයක් ඉදිරිපිට සවිකර තිබූ කොඩි කනු කඩා දැමීමක් සම්බන්ධයෙන්. මිනුවන්ගොඩ, පොල්වත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදි තුවාල සිදුකිරීමක් පිළිබද පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පොළොන්නරුව, මනම්පිටිය දෙමළ විද්‍යාලය අසලදීද පහරදීමක් සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. ප‍්‍රචාරක පෝස්ටර් ඉරා දැමීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා. පහරදීමට ලක්ව ඇත්තේ ඡන්ද අපේක්‍ෂකයෙක්.

මේ අතර මහනුවර හන්තාන ප‍්‍රදේශයේදී ඡන්ද අපේක්‍ෂකයෙකුගේ නිවසකට ගල් ගසා ඇතැයිද පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. නවගමුව, දැඩිගමුව ප‍්‍රදේශයේදී ඡන්ද අපේක්‍ෂකයෙකු ඔහුගේ මවට මරණ තර්ජන කළ බවටද පැමිණිල්ලක් ලැබී තිබෙන බවයි පොලීසිය පැවසුවේ. මවගේ සහෝදරයා වෙනත් අපේක්‍ෂකයෙකුගේ රැස්වීමකට සහභාගි වූ නිසා ඔහු මෙම මරණ තර්ජනය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලින් හෙළිව තිබෙනවා.