Monday, October 21, 2024

General line - 0115112241

දෙමළ ජනතාව වෙනුවෙන් වායුසමනය කළ යාත්‍රාවක් මෙන්න (PHOTOS)

වන්නි - රොමේෂ් මධුෂංඛ




යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ පිහිටි කරම්පන් ජැටියේ සිට එළුවන්තීවු හා අනලතීවු දූපත්වල ජීවත් වන ජනතාවට ප්‍රවාහන පහසුකම් සඳහා නවීන වායු සමනය කළ යාත්‍රාවක් අද (26) සිට සේවයට එක්කර තිබෙනවා.

නාවික හමුදාවේ පූර්ණ සහයෝගයෙන් එළුවන්තීවු හා අනලතීවු ජනතාවට මෙම පහසුකම් හිමි වනවා.

මෙම කටයුතු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනෝල්ඩ් කුරේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන 132ක් වැය කර ඇති අතර එය යාපනය දිස්ත්‍රික් කාර්යාල ප්‍රතිපාදනවලින් ලබාදී තිබෙනවා.

සියළු පහස්කම්වලින් සමන්විත වායු සමනය කළ මෙම යාත්‍රාවේ වරකට මගීන් 40කට වැඩි පිරිසක් යාත්‍රා කළ හැකියි.

එම යාත්‍රාව "එළුතාරකයි" ලෙස නම් කර තිබෙනවා.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ උතුරේ දෙමළ දේශපාලනඥයන් ආරක්ෂා කිරිම සඳහා සිංහල පොලිස් නිලධාරින් ක්‍රියා කරන බවත් සිංහල නිලධාරි කෙරෙහි තබා ඇති විශ්වාසය දෙමළ පොලිස් නිලධාරින් කෙරෙහි නොදැක්වීම සම්බන්ධයෙන් සොයා බැලීය යුතු බවත් කියා සිටියා.

එමෙන්ම දෙමළ ජනතාව නොව වෙනස් විය යුත්තේ සිංහල රජය මෙන්ම දෙමළ දේශපාලනඥයන් බවත් ඔහු පෙන්වා දුන්නා.

වසර 60කට වැඩි කාලයක් උතුරේ සංවර්ධනය අඩාල වී ඇති බවත් දෙමළ දේශපාලනඥයන් විපක්ෂයේ සිටීම ඊට හේතුව බවත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවා.

මුස්ලිම් දේශපාලන පක්ෂ හා කඳුකරයේ දේශපාලන නායකයන් මෙන් උතුරේ දේශපාලනයන්ද ආණ්ඩුවත් සමග එක්වී තනතුරු ලබාගෙන උතුරේ සංවර්ධනයට කැපවිය යුතු බවද ආණ්ඩුකාරවරයා කියා සිටියා.