Sunday, October 20, 2024

General line - 0115112241

සුව සැරිය දෙවන අදියර අද අත්සන් කෙරේ




1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව සඳහා තවත් ගිලන් රථ 209 ක් ලබාදීමට ඉන්දීයාව තීරණය කර තිබෙනවා.

ඒ, එම සේවාවේ දෙවන අදියර සඳහායි.

එය අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප‍්‍රදානයක් බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අරලියගහ මන්දිරයේදී අද (03) සිදු කිරීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංදු සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊට අත්සන් තබනු ඇති.

1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව යටතේ මුල් අදියරේදී ගිලන් රථ 88 ක් හිමි වුණා. ඒවා බස්නාහිර සහ දකුණු පළාත් සඳහා යොදවා තිබෙනවා.

 ඒ යටතේ ශී‍්‍ර ලාංකිකයින් 550 ක් රැකියාවල යෙදෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය කියාසිටියේ. අද දින ශී‍්‍ර ලංකාවට ලැබෙන ගිලන් රථ සියළු දිස්ති‍්‍රක්ක ආවරණය වන පරිදි යෙදවීමටයි තීරණය කර ඇත්තේ.