Friday, October 18, 2024

General line - 0115112241

කරුණු ඉටු වී නැති බවට උතුරු මහ ඇමති යැවූ ලිපිය

දිනසේන රතුගමගේ




ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ශී‍්‍ර ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණුවලින් කිසිඳු කරුණක් මේ වනතුරු ඉටුවී නැතැයි උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂාප් හට දැනුම් දී තිබෙනවා.

ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ මෙරට අමරිකානු තානාපතිවරයා ඊයේ (15) කොළඹදී හමුවූ අවස්ථාවකදියි. ඒ සම්බන්ධයෙන් වන විශේෂ ලිපියක්ද ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් අමෙරිකානු තානාපතිවරයා හට භාර දී තිබෙනවා.

එම ලිපිය මගින් ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් අවධාරණය කර ඇත්තේ මානව හිමිකම් මණ්ඩලය මගින් ශ‍්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් නිර්දේශ කරන ලද කරුණු යළිත් මතක් කර දීමට අමෙරිකාව කටයුතු කළ යුතු බවයි.

මේ නිසා ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37වන සැසිවාරයේදී අනිවාර්යයෙන්ම මෙම කරුණු ඉටුකරන මෙන් ශී‍්‍ර ලංකා රජයට බලකළ යුතු බව ප‍්‍රධාන අමාත්‍යවරයා සිය ලිපිය මගින් අවධාරණය කොට තිබෙනවා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් නිර්දේශ කරන කරුණු ඉටුකිරීමට යම් රජයක් අපොහොසත්වුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ගයන්ද ඉතා පැහැදිලි විය යුතු බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා සිය ලිපිය මගින් අමෙරිකානු තානාපතිවරයා වෙත වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.

ශී‍්‍ර ලංකා රජය නව ව්‍යවස්ථා සංශෝධනයකට යන බවත් ඉන් උතුරු නැගෙනහිර අර්බුධයට විසඳුම් රැසක් ලැබෙන බවත් පසුගිය සැසිවාරයේදී ප‍්‍රකාශ කළත්, මේ වනතුරුත් නව ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අපේක්ෂාවන් දල්වා ගැනීමේ හැකියාවක් නොමැති බවද ප‍්‍රධාන අමාත්‍යවරයා භාර දී ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.