Friday, September 20, 2024

General line - 0115112241

පරාජිත මන්ත්‍රී තවමත් නිල නිවාසයේ




රාජ්‍ය නිල නිවාස හිමිකමක් නොමැති පිරිස් විසින් අත්පත් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පවසනවා.

හිමිකමක් නොමැති පිරිස් විසින් නිල නිවාස අත්පත් කරගැනීම නිසා හිමිකමක් සහිත තැනැත්තන්ට නිල නිවාස අහිමි වී තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පැවසුවේ මන්ත‍්‍රී නිල නිවාසයක් සඳහා තමන්ට ද හිමිකමක් ඇතත්, තවමත් තමන්ට මන්ත‍්‍රී නිල නිවාසයක් ලැබී නොමැති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සේවා කාර්යංශයෙන්ද විමසීමක් කළා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් නිල නිවාස 120ක් තිබෙන බවයි. ඒවායින් 8ක් පරිපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවද ඉතිරි නිල නිවාස 112 මන්ත‍්‍රීවරුන්ට බෙදා දී ඇතැයි ද එහිදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් පරාජිත මන්ත‍්‍රීවරයෙකු තවමත් මෙම එක් නිල නිවාසයක නතර වී සිටින බවයි අදාළ ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ. ඔහුට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කර ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා.

සම්ප‍්‍රදායට අනුව අමාත්‍ය ධූර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූර දරන මහජන නියෝජිතයින් වෙනුවෙන් ද මන්ත‍්‍රී නිල නිවාස වෙන් නොකරන බවයි පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සේවා කාර්යංශය කියා සිටියේ.

කෙසේ වෙතත් ඇතැම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මන්ත‍්‍රී නිල නිවාසවල සිටින අවස්ථා තිබෙන බව ද අදාළ ප‍්‍රකාශකයා කියා සිටියා.