Friday, May 3, 2024

General line - 0115112241

ලැව් ගින්නකින් 50 දෙනෙක් මරුට : අධික උණුසුම් කාලගුණයෙන් ලොව කැළඹෙයි (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ග්‍රීසියේ ඇතෑන්ස් හී අටීකා ප්‍රාන්තයේ ඇතිවි තිබෙන ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මෙවන විට පුද්ගලයින් 50 දෙනෙක් මිය ගොස් ඇතැයි වාර්තා වනවා. රතු කුරුස සංවිධානය සදහන් කරන්නේ අටීකා ප්‍රාන්තයේ පිහිටි නිවාඩු නිකේතනයකින් පමනක් ගින්නට හසුව් මියගොස් සිටි පුද්ගලයින් 26 දෙනෙකුගේ මළ සිරුරු හමුවි ඇති බවයි.

ජනප්‍රිය සංචාරක කළාපයක් වන ඇටීකා ප්‍රාන්තයේ මුහුදු වෙරලේ සහ ලැව්ගින්න පැතිරෙමින් පවතින ප්‍රදේශයේ කොටුවී සිටින ජනතාව බේරා ගැනිම සදහා සහන සේවකයින් හෙලිකොප්ටර් සහ බෝට්ටු යොදා ගනිමින් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ ලැව්ගින්නට හසුවි පුද්ගලයින් 104 දෙනෙක් තුවාල ලබා ඇති බවත් ඉන් 16 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. සිද්ධියෙන් දිවිගලවා ගත් පුද්ගලයින් කණ්ඩායමක් කියා සිටියේ තමන් දිවි ගලවා ගැනීම සදහා අවසානයේදි මුහුදට පැනිමට සිදුවු බවයි.

සහන සේවකයින් පවසන්නේ අටීකා ප්‍රාන්තයේ නිවස හා වාහන රාශියක් ලැව්ගින්නට හසුවී විනාශ වී ඇති බවයි.

ලැව්ගිනි තත්ත්වය මැඩ පැවැත්වීම සදහා මේ වන විට සිය ගණනක් වූ ගිනි නිවීමේ නිලධාරින් යොදවා ඇති බවත් තත්ත්වය මැඩ පැවැත්වීම සදහා ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන බව ග්‍රීසියේ අගමැතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර ජපානයට බලපා තිබෙන අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 65 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ඒකකය සදහන් කරන්නේ බලපා තිබෙන උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 22,000 ක් රෝහල් ගත කර ඇති බවයි. ජපානයේ ඇතැම් ප්‍රාන්ත වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා ඉහළ ගොස් තිබෙන බව එරට කාලගුණ ඒකකය සදහන් කර සිටිනවා.

යුරෝපයේ රටවල් රැසක අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විශේෂඥයින් සදහන් කරනවා.