Wednesday, February 5, 2025

General line - 0115112241

නවසීලන්ත විසා ගැනීමට ව්‍යාජ තොරතුරු දුන් ලාංකිකයින්ට වැඩ වරදී

දිනුක් හේවාවිතාරණ




නවසීලනත්යේ අධ්‍යාපනය හැදෑරීම සඳහා යැයි සදහන් කරමින් ව්‍යාජ වීසා ඉල්ලුම් කළ ශ්‍රී ලාංකික පිරිසකගේ විසා ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එරට ආගමන බලධාරීන්ගේ අවධානය යෙමුවී තිබෙන බව එරට ආගමන විගමන අමාත්‍ය ඉයන් ලිස්-ගැලෝව් සදහන් කර සිටිනවා.

ඉන්දියාවේ පිහිටි නවසීලන්ත වීසා මධ්‍යස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතුවල නිරතවූ එරට බලධාරීන් විසින් මෙම වංචාව හෙළිකර ගෙන තිබෙනවා.

ඉකුත් මාර්තු මාසයේදී ඉන්දියාවේ පිහිටි නවසීලන්ත විසා මධ්‍යස්ථානය වෙතට ලැබුණු ශ්‍රී ලාංකිකන් 88 දෙනෙකුගේ විසා ඉල්ලුම්පත් සමබන්ධයෙන් සැකයක් පවතින බව බලධාරීන් ආගමන විගමන ඇමතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී හෙළිවී ඇත්තේ යොමුකර තිබු විසා ඉල්ලුම්පත් 88 න් 83 ක්ම ව්‍යාජ තොරතුරු ඇතුලත් කර ඇති බවයි. ඒ අනුව එම ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කිරීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

එම විසා ඉල්ලුම් පත් මෙරට ප්‍රධාන පෙළේ මුල්‍ය ආයතනයක් විසින් යොමු කර ඇති අතර ඔවුන් ව්‍යාජ ලේඛන සකස් කර නවසීලන්තයේ අධ්‍යාපනය සදහා සිසු සිසුවියන් යැවීමේ ජාවාරමක නිරතවී සිටින බවට හෙළිවී තිබෙනවා.

මේ හේතුවෙන් 2017 වසරේ සිට නවසීලන්ත විසා මධ්‍යස්ථානය වෙත ශ්‍රී ලංකාවෙන් යොමු කර තිබෙන විසා ඉල්ලුම්පත් 895 ක් පිළිබඳව යලි අවධානය යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

සැකයට භාජනයවී තිබෙන අදාළ මුල්‍ය සමාගම විසින් යොමු කරන ලද ශ්‍රී ලාංකිකයින්ගේ විසා ඉල්ලුම්පත් ඇත්ද යන්න ගැන සොයා බැලීම සහ එහි තොරතුරු සත්‍යද යන්න ගැන මෙහිදී නැවත වතාවක් සමාලෝචනය කිරීමට බලධාරීන් විසින් කටයුතු කරනු ඇති බව එරට ආගමන විගමන ඇමතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව දැනට නවසීලන්තයට ඇතුල්වී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අයදුම්පත් සහ ඔවුන් ඉදිරිපත් කරනු ලැබූ ලේඛන සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අනුව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් වංචා සහගත අයුරින් නවසීලන්තයට ඇතුල්වූ පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන තොරතුරු සොයා බැලීමට කටයුතු කරන බව අමාත්‍ය ඉයන් ලිස්-ගැලෝව් සදහන් කර සිටිනවා.

මේවනවිට නවසීලන්තයේ රැඳී සිටින පිරිස අතර ද වංචා සහගත ලෙස රටට ඇතුළුවූවන් සිටිනු ඇති බව අනුමාන කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

නවසීලන්තයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් ඇති බවට තහවුරු කරමින් පැමිණෙන සිසු සිසුවියන් රැසක් මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට නොහැකි මුල්‍ය තත්ත්වයක පසුවීම හේතුවෙන් එරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

විමර්ශනය අවසානයේ, සැකකටයුතු අයදුම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් එම විසා හිමියන්ට යලිත් වරක් විසා දීර්ඝ කිරීමක් ලබා නොදීමට අවධානය යොමුවී ඇති බවයි ඇමතිවරයා සදහන් කර සිටියේ. 

එමෙන්ම අසත්‍ය තොරතුරු සපයමින් විසා ඉල්ලුම්පත් යොමු කරනු ලැබූ මෙරට මුල්‍ය සමාගම අසාදුගත කිරීමට පියවර ගෙන ඇති බව මෙහිදී නවසීලන්ත ආගමන විගමන් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.