Friday, May 3, 2024

General line - 0115112241

බොර තෙල් මිල දිනෙන් දින වැඩි වෙද්දී ගෑස් මිලට කරන දේ ඇමති කියයි




ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද ගෑස් මිල නැවත වැඩිකිරීමට ඉඩ දිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවකදීයි. 

ශි‍්‍ර ලංකාවේ ගෑස් මිල තිරණය කිරීමට දැනට තිබෙන ක‍්‍රමවේදය තමන් අනුමත කරන බවත්, එහෙත්, ප‍්‍රවාහන වියදම සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් පවතින බවත් ගෑස් සැපයුම්කරුවන් පවසනවා. ඉකුත් දා කෙරුණු ඉන්ධන මිල වැඩි කිරිම නිසා ප‍්‍රවාහන වියදම වැඩිවී අති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. 

ඒ අනුව වැඩිවූ ප‍්‍රවාහන වියදමද සැලකිල්ලට ගෙන ගැස් මිල සංශෝධනය කරන ලෙස ගෑස් සැපයුම්කරුවන් ඉල්ලා සිටියා. එහෙත් ගෑස් මිල නැවත වැඩි කිරිමෙන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුවන බව බවයි අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් අවධාරණය කළේ. ඒ නිසා ගෑස් මිල නැවත වැඩි කිරීමට ඉඩ දිය නොහැකි බවද ඔවුන් පැවසුවා.

අවසන් වරට ගෑස් මිල සංශෝධනය කෙරුණේ ඉකුත් 26වනදා මධ්‍යම රාති‍්‍රයේ සිටයි. කිලෝ ග‍්‍රෑම් 12.5හේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල එදින සිට රුපියල් 195කින් වැඩි කෙරුණා. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක් කොළඹ දිස්ති‍්‍රක්කයේ දැන් අලෙවි කෙරෙන්නේ රුපියල් 1,538කටයි. ප‍්‍රවාහන වියදමද ගලපා සෙසු දිස්ති‍්‍රක්ක වල ගෑස් මිල තීරණය කර තිබෙනවා.