Wednesday, May 1, 2024

General line - 0115112241

දශක 08 කට පසුව ඕස්ට්‍රේලියාව "ගිනියම් වෙයි" (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඕස්ට්‍රේලියාවට බලපා ඇති අධික උෂ්ණත්වයෙන් යුත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස රජය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. දැනට දින 06 ක කාලයක සිට ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක අගයකින් යුක්තව පවතින බවයි එරට කාලගුණික අංශ නිවේදනය කරන්නේ.

මෙය එරට ඉතිහාසයේ වාර්තාවී ඇති අධික උෂ්ණත්වයෙන් යුත් වාර්තා අතරට අයත් වන බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්තයන් සහ දකුණු දිග ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති අතර එම ප්‍රදේශවල මාර්ග වල අතුරා ඇති තාර පවා දියවී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වවුලන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගොස් ඇති බව වනසත්ව ආරක්ෂණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරනවා.

ගතවු දශක 08 ක කාලයකට පසුව ඕස්ට්‍රේලියාවට බලපෑ අධික උෂ්ණත්වයෙන් යුතු කාලගුණ තත්ත්වය මෙය බවයි කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ. මේ අතර ඇතැම් ප්‍රාන්තයන් වල අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව් ගිනි තත්ත්වයන් පවා වාර්තා වී තිබේ.

ඇතිවී තිබෙන අධික උෂ්ණත්වයෙන් පිඩා විදින ඕස්ට්‍රේලියා ජාතිකයින් විශාල පිරිසක් මුහුදු වෙරළ හා ජල තටාකවල සිටින අයුරු දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.