Tuesday, April 30, 2024

General line - 0115112241

මෙක්සිකෝවේ ඉන්ධන නලයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 66ක් මරුට (VIDEO)

දිනුක් හේවාවිතාරණ




මෙක්සිකෝවේ ඉන්ධන නලයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 66 දෙනෙක් මියගොස් තවත් 76 දෙනෙක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙක්සිකොවේ හිදල්ගෝ ප්‍රාන්තයේ පිහිටි ඉන්ධන නලයක් මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ඉන්ධන සොරකම් කිරීමට දැරූ උත්සහයකදී බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇති බහුතරයක් පුද්ගලයින් නීතිවිරෝධී අයුරින් ඉන්ධන රැස්කිරීමට පැමිණි පුද්ගලයින් බවයි මෙක්සිකානු බලධාරීන් සඳහන් කරන්නේ. සිද්ධිය වූ ස්ථානයේ තවත් මල සිරුරු ඇති බවත් ඒවා ගින්නට හසුවීමෙන් විනාශ වී ඇති බැවින් මියගිය සංඛ්‍යාව මිට වඩා ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉන්ධන සොරකම් කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් ඉන්ධන නලය විදීම් යන්ත්‍ර උපයෝගී කරගනිමින් විද ඇති බවත් අසල පිහිටි ගම්වල සාමාන්‍ය ජනතාව පවා ඉන්ධන රැස් කර ගැනීම සඳහා බාල්දි ආදිය රැගෙන පැමිණ ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. සිද්ධිය පිලිබදව සැලවීමත් සමග ආරක්ෂක අංශ පැමිණ ඉන්ධන එක්රැස් කර ගනිමින් සිටි පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ අවස්ථාවේදී එකවර නලය පුපුරා ගොස් ඇත.

කෙසේ වුවත් ආරක්ෂක අංශ පැමිණීමත් සමග බොහෝ සාමාන්‍ය වැසියන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබීම හේතුවෙන් සිදුවීමට ගිය ජිවිත හානිය අවමවී ඇති බවයි හිදල්ගෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් මෙක්සිකානු ජනාධිපති ලොපෙස් ඔබ්රාඩොර් කියා සිටියේ ඉන්ධන සොරකම් කරනු ලැබූ පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් වගකිවයුතු අංශ දැනුවත් කළ බවයි.